ශාන්ති කර්ම හා ඒවායෙහි දක්‌නට ලැබෙන නාට්‍යමය ලක්‍ෂණ

ලාංකීය ජනයා පුරාණයේ සිටම විවිධ ඇදහිලි විශ්වාස ඤාති කොටගෙන පැමිණෙයි. ස්‌වභාවිකත්වය දේවත්වයට ආරෝපණය කිරීම, මළවුන් පිදීම, යක්‍ෂයන්ට දොල පිදේනි දීම, දෙවියන්ට පූජා පැවැත්වීම යනාදිය ඒ අතර ප්‍රමුඛ වේ. බොහෝවිට මේවා'උපද්‍රව ගෙන ඒය' යන බියමුසු භක්‌තියකින්ද සශ්‍රීකත්වය ළ`ගා කර ගැනීමට ද සිදු කෙරිණී. ඒ හා සම්බන්ධ පුදපූජාදියද ඊට සමගාමීව ක්‍රියාත්මක වෙමින් පැමිණේ. යථෝක්‌ත ඇදහිලි විශ්වාස හා තදාශ්‍ර්‍ර්‍රsත ශාන්ති කර්මාදිය බුදුදහමට පටහැනි ක්‍රියාවක්‌ ලෙස ගැමියෝ කිසිදින නොසිතූහ. අසාධ්‍ය රෝග සුව කිරීමාදී පෞද්ගලික පරමාර්ථද කෙත්වතු සශ්‍රීකත්වය, වසංගත රෝගාදී පොදු පරමාර්ථ ද ශාන්ති කර්මයන්ට අරමුණු වේ. උවදුර, ප්‍රදේශය, විශ්වාසවල ස්‌වභාවය යනාදිය මත ශාන්ති කර්ම විවිධ වෙයි. මෙම ලිපිය මගින් තත් ශාන්ති කර්ම හා ඒ ආශ්‍රිතව දක්‌නට ලැබෙන නාට්‍යමය ලක්‌ෂණ පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරේ.

සන්නි යකුම 

සන්නි යකුම වූ කලී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිදු කරන යාතු කර්මයකි. මෙයින් ප්‍රමුඛ සම්ප්‍රදාය තුනකි. ඒ බෙන්තර, රයිගම හා මාතර සම්ප්‍රදායයන්ය. සන්නි යකුමෙහි විශේෂත්වයක්‌ වන්නේ යකැදුරන් සන්නි දහ අට මවා පෑමයි. මෙහිදී සන්නි යකුම් වීදි මාලාවෙහි වෙස්‌ මුහුණු පැළඳ කරන මෙම රංගන වේදිකාවක්‌ මත දිග හැරෙන නාට්‍යයකට සමානය. එසේ වන්නේ නාට්‍යකරණයේ ප්‍රමුඛ වන සතර අභිනය මෙහි විද්‍යමාන වන නිසාය. 

භරත මුනිවරයා අභිනය විග්‍රහ කරන්නේ සිවු අභිනය වූ කලී ප්‍රේක්‍ෂකයා තුළ ව්‍යංගයෙන් රසය ජනිත කිරීමෙහිලා සමර්ථ වන බවයි. දහ අට සන්නියේද රැස්‌වන ජනකාය පූජාර්ථවිධීන්හි රඳවා තබා ගනු වස්‌ ශාන්තිකර්ම ශිල්පීන් විසින් භාව උද්දීපනය කරමින් කුතුහලය ජනනය කරමින් සබයා (ශාන්ති කර්මය නරඹන්නන්) ඇද බැඳ තබා ගැනීමේ රසෝත්පාදන රංගන සිදුකෙරේ. එය සිවු අභින එකිනෙක මතුකර විග්‍රහ කළ හැකිය.

ශාන්ති කර්ම යන්නෙහි සරල අදහස වන්නේ 'සෙත් පැතීම' යන්නය. මිනිසා කෙරෙහි ඇති වන්නා වූ නොයෙකුත් ආකාරයේ ලෙඩ-රෝග, ඇස්‌වහ-කටවහ දෝස, අනවින හිරිහැර, අතුරු-ආන්තරා ආදිය විෂයයෙහි ප්‍රතිකාර කිරීමෙන් සුවවන රෝග මෙන්ම එසේ සුව නොවන අසාධ්‍ය රෝග තත්ත්වයන්ද වෙයි. මේ නිසාම විද්‍යාත්මක ප්‍රතිකාරවලින් සුව නොවන අවස්‌ථාවල මිනිසුන් විසින් අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් පිහිට පැතීමට පුරුදුව සිටියි.

''ගැමි ඇදහිලි ඇසුරු කොටගෙන පවත්වන ශාන්ති කර්මවල පොදු අභිප්‍රාය නම් යක්‍ෂ භූතාදීන් නිසා ඇතිවන වස්‌දොස්‌ දුරු කිරීමත් සෙත් ශාන්ති පැවැත්වීමත්ය. එහෙයින් ඒවා ඇතැම් ලෙඩ රෝග සුව කිරීමට මාර්ගයක්‌ වශයෙනුත් යොදනු ලබන්නේය.''

(එදිරිවීර සරච්චන්ද්‍ර, සිංහල ගැමි නාටකය, 40 පිටුqව)

මේ ආකාරයේ උවදුරු ගෙනදෙන්නන්හට බලි බිලි පූජා, පිදේනි, යාග හෝමාදිය පැවැත්වීමෙන් සියලු උපද්‍රව දුරු වී සෙත ශාන්තිය උදාවේය යන විශ්වාසය මිනිසුන් තුළ පවතී. මෙසේ ගැමි සංස්‌කෘතියෙහි අදහනු ලබන අමානුෂික වර්ගයා දෙවිවරුන් හා යක්‍ෂයන් ලෙස පොදුවේ දෙකොටසකට බෙදිය හැකිය. එහෙත් ඇතැම් තැනෙක දෙවියන් යක්‍ෂයන් ලෙසත් යක්‍ෂයන් දෙවියන් ලෙසත් පුදපූජා ලබයි. මින් වැඩි වශයෙන් උපද්‍රව ගෙන එන්නේ යක්‍ෂයන් විසිනිs. 

ආතුරයාට වැළඳෙන රෝග සුව කරනු වස්‌ ශාන්ති කර්ම ශිල්පියා විසින් අනුකරණය කිරීම සිදු කරයි. එහිදී ප්‍රධාන වශයෙන් රෝගියාගේ රෝග ලක්‍ෂණය අනුකරණය කරයි. මේ සඳහා බෙහෙවින් යොදා ගන්නේ යක්‍ෂයන්ය. මේ හරහා ඒ ඒ රෝගයට අරක්‌ගත් යක්‍ෂයන් සතුටු කිරීමක්‌ සිදුකළ හැකිය යන ආත්ම විශ්වාසය ආතුරයා තුළ ඇති කරනු ලබයි. මෙසේ දේව, භූත, යක්‍ෂ, ප්‍රේතකාය සතුටු කරවන ශාන්ති කර්මවලට 'තොවිල්' යන පොදු නාමය ගැමියන් අතර භාවිත වේ. 

මෙසේ සිදු කෙරෙන ශාන්ති කර්ම ලෙස බලි ශාන්ති කර්මය, සූනියම් කැපිල්ල, කොහොඹා යක්‌කංකාරිය, දෙවොල් මඩු ශාන්ති කර්මය, මහසොහොන් සමයම, රිද්දි යාගය, කළු කුමාර සමයම, සන්නි යකුම හෙවත් දහඅට සන්නිය වැනි ශාන්ති කර්මයෝ ප්‍රමුඛ වෙති. 

මෙම ශාන්ති කර්ම සිදුවන්නේ රාත්‍රී කාලයේ නිසාම මිනිසුන් ශාන්ති කර්මය තුළ රඳවා ගැනීමටත් ආතුරයාගේ චිත්ත සන්තානය සුවපත්ව හා සතුටින් තබා ශාන්ති කර්මයේ ඒකාකාරී ස්‌වරූපය නැතිකර ප්‍රබෝධයෙන් තබනු වස්‌ ශාන්ති කර්මයන්හිදී විවිධ උපක්‍රම ශාන්ති කර්ම ශිල්පීහු භාවිත කළහ. මේ හරහා ශාන්ති කර්ම කෙරෙන් නාට්‍යමය ලක්‍ෂණ මතු විය. 









නාට්‍යය යනු ප්‍රබල සන්නිවේදන කලා කර්තව්‍යයකි. සප්ත කලා අතරින් නාට්‍ය වූ කලී සජීවීව මිනිසුන් වෙත වඩා පෙලඹුමකින් කිසියම් වේදිතයක්‌ සංජානනය කළ හැකි කලා අංගයකි. නාට්‍ය ඔස්‌සේ ලෝක පැවැත්ම හෙවත් මිනිස්‌ ක්‍රියාකලාපයන්ගේ අනුකරණය කිරීමක්‌ සිදු කරනු ලබයි. මෙම අනුකරණය හාත්පසින්ම සර්ව සාධාරණ ලෙස කිසිවකුටත් කළ නොහැකිය. එසේ හෙයින් නාට්‍යයේදී වන්නේ අංග සම්පූර්ණ නොවූ අනුකරණයක්‌ සංගීතය, නර්තනය, වේෂ භූෂණ ආදිය මගින් සරසවා ප්‍රේක්‍ෂකයාගේ මනසෙහි රස භාවයන් ඇති කරමින් ඔහු සෞන්දර්යාත්මක වින්දනයකට ලක්‌ කරනු ලැබීමයි. 

නාට්‍යකරණයේදී අනුකරණය ප්‍රධාන තැනක්‌ ගන්නා සේම ශාන්තිකර්ම වලදීද අනුකරණයට ප්‍රමුඛ තැනක්‌ හිමි වේ. නාට්‍යය තුළ ලෝක පැවැත්ම අනුකරණයට භාජනය වන අතර ශාන්ති කර්මවලදී අදෘශ්‍යමාන බලවේගයන් ආතුරයාගේ ඒ ඒ රෝගයට ආරෝපනය කොට සජීවීකරණය කිරීමට වෙර දරනු ලබයි. මෙහිදී ඒ ඒ යක්‍ෂයා හෝ දෙවියා ශාන්තිකර්ම ශිල්පියාට සිතා හෝ නොසිතා ආවේශ වන අතර එසේ නොසිතා ආවේශ වූ තන්හී නාට්‍යමය ලක්‍ෂණ එහි විද්‍යමාන නොවේ. එහෙත් ප්‍රකෘති සිහියෙන් සිදුකරන ශාන්ති කර්මයන්හි, නාට්‍යකරණය තුළ මෙන් සිවු වැදෑරුම් අභිනය ඔස්‌සේ ආතුරයා ඇතුළු ප්‍රේක්‍ෂකයන්ගේ රස භාව තීව්‍ර කිරීමෙහිලා සමත් වෙයි. 

හඅට සන්නිය හා එහි අභිනය භාවිතය 

දහඅට පාළිය, සන්නි යකුම යන නාමයන්ගෙන් ද මෙය හැඳින්වෙයි. ''සන්නිය'' යන්නෙහි වචනාර්ථය වන්නේ ලෙඩ, රෝග, ව්‍යාධි යන අර්ථයයි. වා, පිත්, සෙම් යන තුන්දොස්‌ කිපීමෙන් ආතුරයාට වැළඳෙන රෝග දහ අටක්‌ ඇති බව සාමාන්‍ය පිළිගැනීමයි. මෙම රෝග විද්‍යාත්මක ප්‍රතිකාරවලින් සුව නොවන කල දහඅට වැනි ශාන්ති කර්මයෝ සිදු කරති. දහඅට සන්නිය යනු ආතුරයාට වැළඳෙන රෝග දහඅටකි. මෙයින් බොහෝවිට ආතුරයාට වැළඳෙන්නේ එක්‌ සන්නියකි. එහෙත් සන්නි දහඅටම නැටවීම සම්ප්‍රදායානුගතියයි. එක්‌ එක්‌ සන්නිය එක්‌ එක්‌ භූතයකුගේ කාර්යයක්‌ බව පොදු විශ්වාසයයි. සන්නි යකුමේදී ඒ ඒ යක්‍ෂයා ඔහුට සීමා වූ වෙස්‌ මුහුණක්‌ නියෝජනය කරයි. මෙහිදී යකැදුරා සිදු කරනුයේ ඒ ඒ යක්‍ෂයන්ගේ ආවේශ තමන්ට පවරාගෙන යක්‍ෂයා පලවා හැරීමය. මෙසේ සන්නි යකුම තුළ ආවේශ කරගන්නා සන්නි යකුන් දහ අටක්‌ ගැන සඳහන් වෙයි.

''01. භූත සන්නිය 02. අමුක්‌කු සන්නිය 03. ගොලු සන්නිය 04. පිත් සන්නිය 05. දෙමල සන්නිය 06. කොර සන්නිය 07. වාත සන්නිය 08. බිහිරි සන්නිය 09. කන සන්නිය 10. ඔල්මාද සන්නිය 11. නාග සන්නිය 12. ගිනිජල් සන්නිය 13. වෙඩි සන්නිය 14. ගුලූම සන්නිය 15. ජල සන්නිය 16. දේව සන්නිය 17. වෙව්ලුම් සන්නිය 18. මරු සන්නිය''

(ආනන්ද තිලකරත්න, නාට්‍ය හා රංග කලාව, පිටුව 109)

මෙසේ කට්‌ටඩියා විසින් ආතුරයා සහ ශාන්ති කර්මය නරඹන ප්‍රේක්‍ෂකයන්හට සන්නි දහ අටක්‌ එකින් එක විදා හරිමින් එම රෝග සංකේතවත් කරමින් ත්‍රාසය, හාස්‍යය, කුතුහලය මෙන්ම චමත්කාරයත් එම රංගන කාර්යය ඔස්‌සේ සිදු කරනු ලබයි. රෑ තුන්යම නිදි වරාගෙන මෙම ශාන්ති කර්මය නරඹන ජනයා අවදියෙන් තබනු වස්‌ දහ අට සන්නියේ බොහෝ ජවනිකා විනෝදාර්ථයට වැඩි පෙළඹුමක්‌ දක්‌නට ලැබෙයි. මෙවැනි අවස්‌ථාවල ඉදිරිපත් කරන ඇතැම් පෙළපාලිවල පූජාර්ථයට හෝ අභිචාරාර්ථයට වඩා විනෝදාර්ථය මතු වී පෙනෙයි. 

මෙසේ විවිධ යකුන් ආරෝපණය කර ගනිමින් යකැදුරා හෙවත් යක්‌ දෙස්‌සා විසින් කරන රංගනය නාට්‍යකරණය තුළ පාත්‍ර වර්ගයා විසින් වේදිකාව තුළ කරන රංගනයට සමානය. මේ හරහා දහඅට සන්නිය තුළ විද්‍යමාන වන සිවු අභිනය හා ඒ ඔස්‌සේ ප්‍රේක්‍ෂකයන්ගේ රසෝත්පාදනය සිදුවන ආකාරය විමසීම උචිතය. මෙම සිවු අභිනය සන්නි යකුම ශාන්ති කර්මය තුළ කාර්ය සාඵල්‍යතාවෙහිලා ශාන්ති කර්ම ශිල්පියා විසින් ඉතා සාර්ථකව යොදාගනු දක්‌නට ලැබේ. 

1. ආංගිකාභිනය භාවිතය

ආංගිකාභිනය යනු නළු නිළියන් විසින් අඟ පසඟවලින් හෙවත් සිරුරේ රංගන විලාස මගින් කරනු ලබන්නාවූ ප්‍රකාශන ය. අත් පා විහිදුවීම, ගමන් කිරීම, පැනීම, දිවීම වැනිවූ සියලු ශාරීරික ක්‍රියාකාරකම් මෙයට අයත්ය. මෙහිදී එම සැම ක්‍රියාවක්‌ම අර්ථාන්විත විය යුතුය. අනවශ්‍ය හැසිරීම් ආංගික අභිනයෙගිලා නොසැලකෙයි. දහඅට සන්නිය තුළද නාට්‍යකරණයේ මූලිකාංගයක්‌ වන ආංගිකාභිතය ඔස්‌සේ ප්‍රකාශනයෝ සිදු කරති. සැඳෑ සමයේදී යකුන්ට ආරාධනා කිරීම හා පිදේනි කැප කිරීම මුලින්ම දක්‌නට ලැබෙයි. එහිදී පැමිණෙන යක්‍ෂයන් විසින් තම තමන්ගේ භූමිකාව ප්‍රේක්‍ෂකයාට ප්‍රකාශ කරනු වස්‌ විවිධ අංග චලන සිදු කෙරේ. මෙසේ පැමිණෙන ප්‍රධාන යක්‍ෂයන් වන්නේ කළු යකා, රීරි යකා, සූනියම් යකා සහ අභිමාන යක්‍ෂයාය. 

මෙයින් මුලින්ම පැමිණෙන යක්‍ෂයා වන්නේ කළු යකාය. ඔහු රාග ගින්නෙන් වෙළී ගත් යක්‍ෂාවේශයක්‌ ඉදිරිපත් කරයි. මුලින් ඔහු ආතුරයා තුළ බියක්‌ ඇතිවන අන්දමේ ප්‍රවේගකාරී හැසිරීම් රටාවක්‌ පෙන්නුම් කරයි. එහෙත් පසුව විහිලුවෙන් සභාව රස ගන්වා පිදේනිය ගෙන පිටව යයි. රීරි යකා කෙවිටක්‌ ගෙන කුකුළු ලේ උරාබොන බව සංකේතවත් කරන රැ`ගුමක යෙදෙයි. සූනියම් යක්‍ෂණිය ඔමරි ගමනක්‌ රඟ දක්‌වයි. ඇය ඇතැම් තැනෙක අවතාර තුනක්‌ ලෙස පළමුව රූමත් කතක්‌ ලෙසද පසුව බඩදරු ගැහැනියක්‌ ලෙසද තෙවනුව දරුවකු අතැතිවද රංගාවතීර්ණ වනු දක්‌නට ලැබෙයි. අභිමාන යක්‍ෂයා වයස්‌ගත වූවත් අධික කාමුක චරිතයක්‌ රඟ දක්‌වයි. ඔහු ස්‌ත්‍රී පුරුෂ සංසර්ගය සංකේතවත් කරන රංගනයකින්ද ප්‍රේක්‍ෂක සිත් පැහැර ගනී.

මරු දැපවිල්ල මීළඟට සිදුවෙයි. මෙහි මරුවා නම් රීරි යකාගේ අවතාරයකි. යකැදුරා මළමිණියක සේ පැදුරක දිගාවී සිටියි. වෙනත් යකැදුරෙකු පිදේනි ඔහු මත තබයි. හූ හ`ඩ නගමින් නිදිගත් ප්‍රේක්‍ෂකයා අවදි කරමින් දුම්මල ගසමින් විගසින් පැමිණෙන යක්‍ෂයා විකාර වූවකු සේ හැසිරෙයි. හිසමත අත තබා මර ලතෝනි නගයි. කෙසෙල් බඩින් සැදි කඩුවෙන් යකැදුරාට අනින්නා සේ පෙන්වයි. කෙනකුට අත වනයි. සිනාසෙමින් හ`ඩමින් ඔබමොබ දුවමින් මිනිසුන් තුළ ත්‍රාසය භීතිය ඇති කරන රංගනයක යෙදෙයි. 

සන්නි යකුන් යාගයෙහි නාට්‍යමය ලක්‍ෂණ මැනවින් කැපී පෙනෙනුයේ මින් පසුව සිදුවන දොළොස්‌ පෙළපාළිවලදීය. එහෙත් බොහෝවිට ප්‍රායෝගිකව අපට දැකගත හැක්‌කේ පාලි අටකි. එනම් මුගුරු, කෙන්ඩි, කලස්‌, තැඹිලි, දුනු, දළු, සළු, පන්දම් යන පාලි අටයි. මෙයින් මුලින්ම පැමිණෙන්නේ පන්දම් පාලියයි. ඔහු දෑතේ වූ පන්දම් කරකවමින් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා ගනී. විහිළු බසින් සභාව කුල්මත් කර ඔහු පිටවෙයි. මින් සළු පාලිය ජනප්‍රිය පාලියකි. හාස්‍ය උත්පාදක නැටුමක යෙදෙන එම යක්‍ෂයාගේ බඩට බැඳි කොට්‌ටයකි. තෝඩු ආදියෙන් ස්‌ත්‍රී ලක්‍ෂණ ද නිරූපණය කරයි. මුගුරු පාලියේ එන යක්‍ෂයා උම්මත්තකයකුගේ රංගනයක්‌ විදහා දක්‌වයි. ඔහු යාග මණ්‌ඩලයට පැමිණෙන්නේද ප්‍රෙක්‍ෂකයන් මැදිනි. මුගුරකින් මිනිසුන් බිය ගන්වමින් උසුළු විසුළු කිරීමට ඔහු සමත්ය. අට පාලියෙන් පසුව සන්නි යකුන් යාග මණ්‌ඩපයට අවතීර්ණ වෙයි. මෙසේ පැමිණෙන හැම සන්නි යක්‍ෂයාම පෙනී සිටින්නේ තමා විසින් යම් ව්‍යාධියක්‌ මනුෂ්‍යයන් වෙත පමුණුවනු ලබන්නේද එම ව්‍යාධියේ ලක්‍ෂණ රඟ දක්‌වමින්ය.

''මෙසේ කණ සන්නි යක්‍ෂයා කණය. ගොළු සන්නි යක්‍ෂයා ගොළුය. බිහිරි සන්නි යක්‍ෂයා බිහිරිය. එකෙකුට හිස රුදාවය. තව එකෙකුට වමනයය. නැතහොත් පාචනයය. මරු සන්නි යක්‍ෂයා වියරු වැටුනෙකුගේ බිහිසුණු විලාසය දක්‌වයි.''

(එදිaරිවීර සරච්චන්ද්‍ර, සිංහල ගැමි නාටකය, පිටුව 53)

කාලයේ අවහිරතාව නිසාම බොහෝ විට සන්නි දහ අටම රඟ නොදැක්‌වෙයි. එහෙත් මරු සන්නිය, අමුක්‌කු සන්නිය, කණ සන්නිය, ගොලු සන්නිය වැනි යක්‍ෂයෝ නිතරම යාගවලට ඇතුළත් වේ. මරු සන්නි යක්‍ෂයා ඉතාම බිහිසුණු ස්‌වරූපය දරන්නෙකි. පිස්‌සුව ඇතිකරන්නකු බැවින් තදබල ලෙස වියරු වැටී කෑමොර ගසා දඟලන්නෙකුගේ විලාසය පාමින් ඔහු යාග මණ්‌ඩලයට පැමිණෙයි. ඔහු වීදිය පිටු පසින් ගොර බිරම් හ`ඩින් ගුගුරා වීදිය මත නැග එය සොලවා මිනිසුන්ට තම භයානක වේශය දක්‌වයි. එහෙත් යාග භූමියෙන් පිටවන්නේ අනෙකුත් යක්‍ෂයන් සේම ප්‍රේක්‍ෂකයා හාස්‍ය රසයෙන් කුළු ගන්වමිනි.

අභූත සන්නි යක්‍ෂයා උදරාබාධයකින් පෙළෙන්නෙකු ලෙස පැමිණෙයි. මළපහ කරන ආකාරය ආදිය පෙන්වමින් සභාවට සිනහ රසය එක්‌ කිරීමට ඔහු සමර්ථය. මෙසේ ඒ ඒ සන්නි යක්‍ෂයන් තම තමාගේ ස්‌වරූපය සභාව හමුවේ රඟ දක්‌වනු සඳහා විවිධ වූ හාස්‍ය මුසු රංගනයන්හි නිරත වනු දක්‌නට ලැබෙයි.

''සන්නි යකුන් පැමිණ ප්‍රේක්‍ෂකයාට පෙනෙන ලෙස කෑ ගැසීම් අත් පොළවේ ගැසීම් සොටු සීරීම, කැස්‌ස ගැහීම, කෙළ ගැසීම, අතපය රුදා පෙන්වීම, ඔක්‌කාරය පමණක්‌ නොව බිම වාඩි වීම, පැනීම, හතර ගාතයෙන්ම දිවීම, කඳේ කොටස දෙපැත්තකට වැනීම ආදිය අවස්‌ථාවෝචිත නාට්‍ය රසය තීව්‍ර කරයි.''


2. සාත්විකාභිනය භාවිතය

නළු නිළියන්ගේ රංගනයට අවශ්‍ය ඒ ඒ චරිතයට ආවේණික වූ මුහුණින් කරනු ලබන ප්‍රකාශනයන්ය. ප්‍රේමය, කරුණාව, ද්වේශය, වෛරය, සතුට වැනි හැ`ගීම් වචනයෙන් ප්‍රකාශ කරනවාට වඩා උචිත වන්නේ භාව අවදි කරමින් මුහණෙහි ඉරියව් මගින් ප්‍රකාශ කිරීමයි. එය සාත්විකාභිනයයි.

දහඅට සන්නිය තුළ ඒ ඒ යකැදුරන් විසින් යාග මණ්‌ඩපයට අවතීර්ණ වීමේදී ඒ ඒ යක්‍ෂයන්ගේ විවිධ ස්‌වරූපයන් මතු කරනු වස්‌ භාවිත කරනුයේ වෙස්‌ මුහුණු පැළඳීමයි. ප්‍රධාන යක්‍ෂයන්ගේ පැමිණීම තුළ වන කළු යකාගේ වෙස්‌ මුහුණ නෙරාගිය කළු මුහුණක්‌ ඇති බියකරු පෙනුමක්‌ දක්‌වයි. රීරි යකාගේ වෙස්‌ මුහුණ රතු පැහැති රිළා මුහුණක්‌ බඳුය. අභිමාන යක්‍ෂයා වයස්‌ගත පෙනුමකින් යුතු උපැස්‌ යුවලක්‌ පැළඳි වෙස්‌ මුහුණකින් නිරූපිතය. දොළොස්‌ පාලියට අදාල වෙස්‌ මුහුණු කුඩාය. එම වෙස්‌ මුහුණු මගින්ද විවිධ ප්‍රකශන නිරූපිතය. පන්දම් පාලි වෙස්‌ මුහුණ බාගෙට කැපූ වෙස්‌ මුහුණකි. යටි තල්ලක්‌ නැත. නවීකරණය වූ මුහුණකි. සළු පාලියේ එන වෙස්‌ මුහුණ කහ පැහැතිය. හාස්‍ය ජනක මුහුණක්‌ පිළිබිඹු වෙයි. කෙන්ඩි පාලියේ යකැදුරා භාවිත කරන්නේ කළු පැහැති වෙස්‌ මුහුණකි. ඇස්‌ කැරකවීමට හා කටද සෙලවිය හැකිය. 

සන්නි යකුම තුළ විවිධ ප්‍රකාශන පිළිබිඹු කිරීමෙහිලා සාර්ථකම වෙස්‌ මුහුණු භාවිත වන්නේ සන්නි යකුන් දහ අට තුළය. රෝග ලක්‍ෂණ දැක්‌වීමේදී අන්ධ බව, බිහිරි බව ආදිය සාර්ථක ලෙස වෙස්‌ මුහුqණින් ප්‍රකාශිතය.

''සන්නි මුහුණු බොහෝ දුරට සම්මුතිගතයි. සන්නිය නියමාකාරයෙන් වටහා ගැනීමට එයත් එක්‌ හේතුවකි. ඉන්ද්‍රීය ගෝචර වන ලෙස වෙස්‌ මුහුණට කාවද්දා ඇති දේහ ලක්‍ෂණවලින් මතුවන රූපය නැටුම් බැලීමට පැමිණෙන්නන්ගේත් ආතුරයාගේත් සිත් බැඳගන්නා සුළුය. නර්තනයෙන් හා ප්‍රේක්‍ෂකයන් හා අතර සංග්‍රහණයක්‌ ඇති කිරීම ඒ නිසා පහසු කටයුත්තකි.''

(එම්. එච්. ගුණතිලක, කෝලම් නාටක සහ ලංකාවේ වෙස්‌ මුහුණු, පිටුව 43)

3. ආහර්යාභිනය භාවිතය

ආහර්යාභිනය යනු වේදිකාව ඇතුළුව නළු නිළියන් විසින් භාවිත කරන රංගෝපකරණය. එයට ඇඳුම් පැළඳුම් වේදිකා නිර්මාණ ඇතුළුව බාහිර අංගෝපාංග අයත් වේ. එමගින්ද අදාළ නාට්‍යයේ අරමුණට සාපේක්‍ෂව විවිධ ප්‍රකාශනයෝ සිදු කරති. සන්නි යකුම තුළද වේදිකාවකි. ඒ නම් යාග මණ්‌ඩපයයි. එම වේදිකාවේ නාට්‍යයේ පාත්‍ර වර්ගයා සේම වෙස්‌ මුහුණු ඇතුළු රංග වස්‌ත්‍රාභරණයෙන් සැරසුණු යක්‌ දෙස්‌සන් රංගනයෙහි යෙදෙයි. 

''මේ සඳහා ඉදිවෙන යාග මණ්‌ඩපය ''සන්නි යකුම් වීදි මාලාව'' ලෙසින් හඳුන්වයි. මෙය සමන්විත වන්නේ තොරණ සතරකිනි. එයින් තුනක්‌ යක්‌ තොරණ ය. දේව තොරණ වෙන් වන්aනේ මංග්‍රහාමි, දොළහ පත්තිනි, අලුත් පත්තිනි දේවි සහ රිද්දි පෙළ සහිත දේව සමාගම වෙනුවෙනි.''

(තිස්‌ස කාරියවසම්, ශාන්ති කර්ම සහ සිංහල සමාජය, පිටුව 28)

දහ අට සන්නියේදී බොහෝ සැරසිලි සිදු වන්නේ නළුවාට රංගනයේදී භාවිත කළ හැකි අන්දමටය. ඇතැම් අවස්‌ථාවල සන්නි යක්‍ෂයෝ සන්නි වීදිය උඩ නගිති. එය එහා මෙහා සොලවති. එනිසා එය ශක්‌තිමත්ව සැකසෙයි. සන්නි කූඩුවෙහි උපකාරය නිසා බොහෝ යක්‍ෂයන් ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණෙන විට නාට්‍යමය කුතුහලය සභාව තුළ ඇති කරවීමෙහිලා එය සාර්ථක ලෙස උපකාර කර ගනියි. 

නාට්‍යකරණය තුළ විවිධ සංගීත භාණ්‌ඩයන්ගෙන් එයට සහාය වන්නා සේම සන්නි යකුමේදී බෙර වාදකයන් විසින් යක්‍ෂයන්ගේ රංගනයට ප්‍රබල අයුරින් දායක වන්නා සේම ප්‍රේක්‍ෂකයන්ගේ කන් පිනවමින් අවදියෙන් තැබීමටද හේතු වෙයි. 

''වෙස්‌ මෝස්‌තර අතර යටට අඳින කළු කලිසම කළු හෝ දුඹුරු පාට ටී හැඩයේ කමිස හා වෙස්‌ මුහුණු ද වෙයි. සිංහල යක්‌ වෙස්‌ මුහුණු දැන් සක්‍රීය වන ආකාරයට සකස්‌ කර තිබීම දැකිය හැකිය.'' 

(තිස්‌ස කාරියවසම්, දහඅට සන්නි විග්‍රහය, පිටුව 210)

මෙසේ ආහර්යාභිනය ගත් කල්හී ඒ ඒ සන්නි යකුන්ගේ වෙස්‌ මුහුණු පමණක්‌ නොව රංගනයේදී යොදා ගැනෙන පන්දම්, කෙවිටි, කෙණ්‌ඩි, තැඹිලි යනාදී අජීවී වස්‌තු මෙන්ම කුකුළන් වැනි සජීවී වස්‌තූන්ද අයත් වෙයි.

4. වාචිකාභිනය භාවිත

වාචිකාභිනය නම් නළු නිළියන් රංගනයේදී වචනා මාර්ගයෙන් ප්‍රකාශ කරන අදහස්‌ය. නාට්‍ය පිටපතේ අඩංගු දෙබස්‌ ඛණ්‌ඩ, පද්‍ය, ගීත ආදිය මෙයට අයත්ය. ඒ ඒ චරිතයට ගැලපෙන කටහ`ඩ යොදා ගනිමින් ප්‍රකාශන විලාශය තේරුම් ගනිමින් වාචික අභිනය සිදු කිරීම සිදුවේ. 

ප්‍රේක්‍ෂකයාගේ රසඥතාවය තීව්‍ර කරනු පිණිස දහ අට සන්නි ශාන්ති කර්ම ශිල්පියා ප්‍රධානතම අවිය කරගන්නේ වාචිකාභිනයයි. සන්නි යකුමෙහි යක්‍ෂයන් සියල්ලෝම පාහේ උසුළු විසුළු කරමින් සංවාදයෙහි යෙදෙමින් ප්‍රේක්‍ෂකයා කුල්මත් කිරීsමෙහිලා සමර්ථය. ගුරුන්නාන්සේ පවසන දෙය පෙරළා කීම, නෑසුනා සේ සිටීම, හරුප ප්‍රකාශ කිරීම වැනි විවිධ ක්‍රම ඔස්‌සේ එය සිදු කරයි. ආතුරයා මෙන්ම ලොකු කුඩා ප්‍රේක්‍ෂක පිරිස රැය පුරාම අවදියෙන් මෙන්ම සංතෘප්තියෙන් තැබීමට එම දෙබස්‌ එක සේ බලපානු ලැබේ. 

කළු යකා මණ්‌ඩපයට අවතීර්ණ වූ පසුව ගුරුන්නාස්‌සේ හා සිදුවන දෙබසකින් කොටසක්‌ මෙසේය. 

''ගුරුන්නාන්සේ(- ඕ...යි අතේ මොකක්‌ද කියලා අපි අහනවා. 

කළු යකා(- මොනවා මම කළුද කියලා. කොහෙද බොල මගෙ කළු.''

(තිස්‌ස කාරියවසම්, ශාන්ති කර්ම සහ සිංහල සමාජය, පිටුව 40)

මෙසේ සැම යක්‍ෂයකුම තමාගේ ස්‌වභාවය හා ස්‌වරූපය මතුවන අන්දමින් විහිළු තහළු කිරීමෙහිලා සමර්ථය. දොළොස්‌ පාලිය තුළ වඩාත් කවටකම් දොඩනු ලබන්නේ සළු පාලිය තුළය. එහි එන දෙබසක්‌ මෙසේය.

''ගුරුන්නාන්සේ(- සත්හට සෙත් දෙන.

පාලිය(- අක්‌කට මොකවත් නැතිලූ.

ගුරුන්නාන්සේ(- සත්හට සෙත් දෙන.

පාලිය(- අයියට මුං ඇට ඕනිලූ. 

(තිස්‌ස කාරියවසම්, ශාන්ති කර්ම සහ සිංහල සමාජය, පිටුව 42)

කලස්‌ පාලිය, තැඹිලි පාලිය ආදියෙහිදී ප්‍රේක්‍ෂකයා හාස්‍ය රසයෙහි ගිල්වා තබන්නට ශාන්ති කර්ම ශිල්පීහු සමත් වන්නෝය. බීත, ගොලු, අමුක්‌කු, පිත් ආදී යක්‍ෂයෝද සබයට පැමිණ අ`ඩති. දොඩති. සිනහවෙති. වැලපෙති. විවිධ විහිලු තහලු සිදු කරති. ඔවුන්ගේ සංවාදයන්හි හාස්‍යය අඩුවක්‌ නැත. නාට්‍යකරණය තුළ පොතේ ගුරු මෙන් සන්නි යකුමේදී ගුරුන්නාන්සේ විසින් ඒ ඒ යක්‍ෂයන් හඳුන්වා දීමට විවිධ කවි ගායනාවන් සිදු කිරීමක්‌ද වෙයි. මෙහිදී යක්‍ෂාරාධනාව තුළ ඇතැම් තැනෙක යක්‍ෂයන්ගේ විකෘති වූ අඟ පසඟ වර්ණනයද ප්‍රේක්‍ෂක හාස්‌යෝaත්පාදනයෙහිලා හේතු වෙයි. 

මහසොන් සමයමේ දී දෙකොන විලක්‌කුවට ආරාධනා කරනුයේ මෙසේය. 

''වැසෙන කොරත්කුව කයිලාසනේ යකා 

කරන නෙරක්‌කුව පොල්ලක්‌ ගෙන අතෙකා 

ගමන පරක්‌කුව නොව ඇවිදින් සැනෙකා 

දෙකොන විලක්‌කුව බල මහ සොහොන් යකා''

(ආනන්ද තිලකරත්න, නාට්‍ය හා රංග කලාව, පිටුව 110)

මෙලෙස ආතුරයාගේ රෝගී මානසිකත්වය වෙනස්‌ කිරීමට මෙන්ම පැමිණෙන විශාල සභාවක්‌ රැය පුරා අවදියෙන් ඇද බැඳ තබාගනු අටියෙන් යකැදුරන් විසින් ඉතා සාර්ථක ලෙස හාස්‍ය පිරි වාචිකාභිනය මැනවින් ඉවහල් කරගන්නා බව පෙනෙයි. 

සමාලෝචනය

ඉහතින් දැක්‌වෙන ආකාරයට දහ අට සන්නියේදී ප්‍රේක්‍ෂකයන්ගේ මනෝභාව නාට්‍ය රසයෙන් ප්‍රබෝධවත් කරනු වස්‌ සිවු අභින ආශ්‍රයෙන් සිතට කාවදින නාට්‍යමය අංග නිරූපණය කිරීමට දක්‌වන ශක්‍යතාව අත්‍යනර්ඝය. බෙර වාදනය, ගායනය, සමාරෝපය, අනුරූපනය, සංවාද ආදී නාට්‍යමය අංගයන්ගෙන් සමන්විත මෙම යාතු කර්මය ප්‍රේක්‍ෂක ප්‍රතිචාර නොමදව ලබන අංගයක්‌ වශයෙන් හැඳින්විය හැකිය.

Comments

  1. සඵුපාලිය පින්තූරයක් පෙන්විය හැකිද?

    ReplyDelete
  2. සඵුපාලිය පින්තූරයක් පෙන්විය හැකිද?

    ReplyDelete
  3. ගොඩාාක් හොදයි.

    ReplyDelete
  4. මේකනම් ගොඩක් හෝධයි

    ReplyDelete
  5. How to register for online casino site in Malaysia - Lucky Club
    Online casinos and bonus 카지노사이트luckclub deals from Malaysian players in Malaysia with the help of LuckyClub. Malaysia casinos have a wide array of free slots, table games, and a

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රංග භූමි