ග්‍රීක නාට්‍ය කලාවේ ඉතිහාසයය

ඩයොනීසස් දෙවියන් උදෙසා රඟ දැක්වූ මුල් කාලීන පුද පූජා.

මේවා රඟ දැක්වූයේ එළිමහන් බිමකයි. ඒ සඳහා පුද පූජා පිණිස පැමිණ සිටි සැවො ම සහභාගී වී ඇත. මේ අවස්ථාවේ දී ගැයුණු Dithyram ගීතිකා ග්‍රීක කේදාන්ත නාට්‍යයේ ඇරඹුම ලෙස ද සැලකේ. මුල දී අසංවිධානාත්මක ව තිබූ මෙම රංගනයන් ක්‍රි.පූ. 600 දී පමණ Arion නම් කවියා ගේ මැදිහත් වීම මත මුල් වරට සංවිධානාත්මක ස්වරෑපයකට පත් වූ බව සැලකේ. ඔහු පනස් දෙනෙකුගෙන් යුත් ගායන නර්තන වෘන්දයක් පුහුණු කළ බව සඳහන් වේ. ඔවුන් නර්තනයේ යෙදී ඇත්තේ වක්‍රාකාර ව ස්ථාන ගනිමින් බව ද පල වේ. මෙම කණ්ඩායවට පසු කාලීන ව නායකයෙක් ඇති වූ අතර ඔහු Narrator නම් විය. ඒ අනුව ඔහු සහ පිරිස අතර උත්තර ප්‍රත්‍යුත්තර හුවමාරැ වීම ඇරඹී ඇත (රණවීර 1991, 12)

මුල දී මෙම රඟ දැක්වීම් සිදු කර ඇත්තේ එළිමහන් කඳු බෑවුමක ය. මෙහි දී කිසි දු ආකාරයක වේදිකාවක්, ගොඩනැගිල්ලක් හෝ ආවරණයක් භාවිත කර නැත. නමුත් කාලයත් සමග පෙර කී Narrator සාමූහික වෘන්දය ඇමතීම සඳහා මේසයක් වැනි උස් තලයකට නැගි බව සඳහන් වේ. ප්‍රේක්ෂකාගාර සංකල්පයට පෙර වේදිකාව නම් සංකල්පය සඳහා මූලික වූ පියවර මෙය බව සඳහන් කළ හැකි ය. ඒ අනුව මෙම ඩයොනීසස් පුද පූජා තුළින් මුල් ම නළුවා කරලියට ප්‍රවිශ්ට වූ ආකාරය හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

ග්‍රීක   නාට්‍යයේ විකාශනය.

ග්‍රීක කලා ඉතිහාසය සැලකූ විට උක්ත ද්විවිධ අවස්ථාවන්ම සිදු වී ඇත්තේ එකකට එකක් සුසංයෝජනයෙන් බව කිව හැකි ය. මෙහි පළමු අදියර වන්නේ පළමු නළුවා හදුන්වා දීමෙන් අනතුරුව පරිපූර්ණ නාට්‍යයක් නිපදවීම සදහා නිශ්චිත කථා වස්තුවක් වටා සිද්ධීන් පෙළගැස්වීම යි. මෙහි නිර්මාතෲ වූයේ ඉකේරියා නුවර සිටි “Thespis” නම් කවියා බව පිළිගැනේ.

සිය ගායන නර්තන වෘන්දයේ (coras) මූලිකයා ලෙසින් එනම්, පළමු නළුවා ලෙසින් පෙනීසිට ඇත්තේ ද මොහුම ය. ඔහු සිය නාට්‍යය මුල් වරට රඟ දක්වා ඇත්තේ ක්‍රි.පූ. 534 දී ඩයනීසියා නගරයේ දී බව කියැවේ. මුල දී 50ක් පමණ වූ coras එක 12 දක්වා අඩු කළ ඔහු සිය රඟ දැක්වීම් සිදු කර ඇත්තේ කරත්තයක් තුළ බව සඳහන් වේ. ඒ අනුව පළමු වරට නාට්‍යය රංගගත කෙරුණු රංග පීඨය සඳහා භාවිත වූ ක්‍රමවේදය පිළිබඳව උක්ත නාට්‍යය රචකයාගේ සමයෙන් නිදර්ශන ලැබේ.

ක්‍රි.පූ. 6වන සියවසේ දී පමණ පියෙස්ට්‍රෙටස් වැනි රාජ්‍ය පාලකයින්ගේ උනන්දුව සහ කැපවීම මත නාට්‍යය කලාව ක්‍රමයෙන් දියුණු වන අයුරු දක්නට ලැබේ. පසුකාලීනව නාට්‍යය තරඟ පැවැත්වීම සඳහා අවශ්‍ය “ප්‍රේක්ෂකාගාර” තනා ඒවා නඩත්තු කළේ ආණ්ඩුව බව සඳහන් වේ. මෙහිදී නාට්‍යය මෙන්ම මුලින්ම ප්‍රේක්ෂකාගාර සඳහා ද ලැබුණු රාජ්‍ය මැදිහත්වීම පිළිබඳව මුල්ම සාධක ලැබෙන අයුරු දර්ශනය වේ. මෙකී ප්‍රේක්ෂකාගාරවල ඇතිවීම, වර්ධනය සහ පැවැත්ම රඳා පවතින්නේ ග්‍රීක නාට්‍යකරණයේ ප්‍රධාන ත්‍රිමූර්තිය ලෙස හඳුන්වන පුදුගලයින් තිදෙනා නිසාවෙනි. එහෙයින් මෙහිදී ඔවුන් පිළිබඳව සඳහන් කළ යුතු ය.

ඊස්කිලස්

සොපොක්ලීස්

යුරිපිඩීස්

ඒ අනුව පෙර කී විකාශනය ඔස්සේ මෙන්ම උක්ත නම් සඳහන් කරන ලද පුද්ගලයන්ගේ ද නොමද දායකත්වය යටතේ ග්‍රීක නාට්‍යය කලාවේ උන්නතිය විදහා දන්වන ප්‍රේක්ෂකාගාර ද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ ආකාරය විමර්ශනය කළ හැකි ය. මුල් කාලීනව කඳු බෑවුමක සිට, මෙය ඉතා විශිෂ්ට තාක්ෂණයක් විදහා දක්වන්නා වූ අද්විතීය අලංකරණයකින් යුතු වූ සුවිශිෂ්ට වාස්තුවිද්‍යාංගයක් ලෙසට පත් වූ ආකාරය දැනට ශේෂ වී ඇති නශ්ටාවශේෂ උපනිශ්‍රයෙන් දැකගත හැකි ය.

Comments

Popular posts from this blog

රංග භූමි

ශාන්ති කර්ම හා ඒවායෙහි දක්‌නට ලැබෙන නාට්‍යමය ලක්‍ෂණ